GovPay හරහා රථවාහන දඩ මාර්ගගතව ගෙවීමේ පහසුකම ඌව පළාතේ දියත් කරයි.

GovPay හරහා රථවාහන දඩ මාර්ගගතව ගෙවීමේ පහසුකම ඌව පළාතේ දියත් කරයි.
GovPay හරහා සවිබල ගැන්වූ මාර්ගගත රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය (Online Traffic Fine Payment System) දැන් ඌව පළාතේ ද සාර්ථකව ආරම්භ කර ඇති අතර, එය දිවයින පුරා රථවාහන දඩ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම සේවාව ආරම්භ වීමත් සමඟ බදුල්ල, බණ්ඩාරවෙල සහ මොනරාගල යන පොලිස් කොට්ඨාසවල රියදුරන්ට රථවාහන දඩ පහසුවෙන්, ඉක්මනින් සහ ආරක්ෂිතව මාර්ගගතව (Online) ගෙවීමට හැකි වේ.
මෙම සේවාව පළාතට හඳුන්වා දීම සඳහා උත්සව දෙකක් පැවති අතර බදුල්ල සහ බණ්ඩාරවෙල යන පොලිස් කොට්ඨාස සඳහා පැවති උත්සවය බණ්ඩාරවෙල ද, මොනරාගල පොලිස් කොට්ඨාසය සඳහා වූ උත්සවය මොනරාගල පොලිස් මූලස්ථානයේ ප්‍රධාන ශාලාවේ ද පැවැත්විය.
මෙම උත්සව සඳහා මොණරාගල දිසාව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව, රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා, බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩබ්ලිව්.ආර්. ජගත් රෝහණ මහතා, බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා, මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමා කමල් එන් ගුණවර්ධන මහතා, සහකාර පොලිස් අධිකාරී 1 ජේ.එස් ජයසුන්දර මහතා, සහකාර පොලිස් අධිකාරී III මාණියංගම මහතා, පොලිස් ස්ථාන 19ක ස්ථානාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ තාක්ෂණික අංශ නියෝජිතයන් සහභාගී වූහ.
මෙයට සමගාමීව, පොලිස් කොට්ඨාස තුනේ සියලුම නිලධාරීන් සඳහා දැනුවත් කිරීම සහ පුහුණු කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි. මෙහිදී මාර්ගගත ලෙස රථ වාහන දඩ ගෙවීමේ පද්ධතිය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය සහ එහි වාසි ජනතාවට පැහැදිලි කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. මෙම පුහුණුව සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් මූලස්ථාන සහ රථ වාහන (Traffic) අංශ භාර නිලධාරීන් සහභාගී වූහ. තාක්ෂණික පුහුණුව ICTA හි උදාරි විතානගේ, ඉනුක මායාකඩුව සහ LankaPay නියෝජනය කරමින් මිගාර සිල්වා විසින් ලබා දෙන ලදී.
GovPay මාර්ගගත ලෙස රථ වාහන දඩ ගෙවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් රියදුරන්ට දඩ ගෙවීමේදී ඇති අසීරුතා බොහෝ දුරට අඩු වන අතර, ඉක්මන්, ආරක්ෂිත සහ ගැටලු රහිත සේවාවක් ලබා ගැනීමට හැකි වේ. ඒ සමඟම පොලිස් කටයුතු වඩා විවෘත, කාර්යක්ෂම සහ ඩිජිටල් ලෙස සිදු කිරීමටද මෙය උපකාරී වේ. මෙම වැඩසටහන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නායකත්වයෙන්, ICTA, LankaPay සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ක්‍රියාත්මක වන ඇති අතර, ජනතාවට පහසු ඩිජිටල් රාජ්‍ය සේවාවක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.


